Nova Corps - Part 2

නෝවා (2 කොටස)
1 කොටස👇
https://slmarvelfansunited.blogspot.com/2019/02/nova-corps.html
(කියෙව්වෙ නැත්නම් අනිවාර්යයෙන්ම කියවන්න.)
◾️Nova
නෝවා කියන නමින් සුපිරිවීරයන් විදිහට ක්රියාත්මක උන පුද්ගලයන් අතරින් ප්රධානම සහ ප්රසිද්ධම අය තමයි රිචඩ් රයිඩර් සහ සෑම් ඇලෙක්සැන්ඩර්. රිචඩ් ගැන ඊළඟ ලිපියෙන් කතා කරමු. මේ ලිපිය සෑම් ගැන.
Sam Alexander
නිර්මාණය කළේ
Jeph Loeb (රචකයා)
Ed McGuinness (චිත්ර ශිල්පියා)
පළමු පෙනී සිටීම
Point One #1 (2012)
සත්ය නම
Samuel Alexander
වර්ථමාන අනුවර්ථ නාමය
Nova
වෙනත් නම්
Alexander-the-not-so-great
Bilbo
Samuel Alejandro
Black Nova
Human Rocket
Kid Nova
Xandarian Pawn
Bucket Head
Superior Nova
වර්ගය - මනුෂ්
සෑම්ගෙ තාත්තා, ජෙසී සැන්ඩාර්වල කෙනෙක් කියලත් මතයක් තියෙන නිසා සෑම් Alien-Human hybrid කෙනෙක් කියලත් හඳුන්වනවා.
උස - 5' 6"
බර - 140 lbs (64 kg)
ඇස්වල පැහැය - නිල්
කොණඩයේ පැහැය - කළු
විශ්වය
Earth-616
උපන් ස්ථානය
Carefree, Arizona, America.
පුරවැසිභාවය - ඇමෙරිකානු
රැකියාව-තත්වය
උසස් පාසල් ශිෂ්යයෙක්
Supernovas කෙනෙක්
අධ්යාපනය
Carefree උසස් පාසල
නෑදෑයන්
Jesse Alexander (පියා)
Eva Alexander (මව)
Kaelynn Alexander (බාල සහෝදරිය)
සම්බන්ධතා ඇති කණ්ඩායම්
Nova Corps
New Warriors
New Avengers
Avengers
S.H.I.E.L.D.
Champions
Origin
සෑම් ඇලෙක්සැන්ඩර් කියන්නෙ මව, පියා සහ බාල සහෝදරිය සමඟ ඇමෙරිකාවෙ ඇරිසෝනාවල කෙයාෆ්රී කියන ප්රදේශයේ ජීවත් වෙන අවුරුදු 15ක පිරිමි ළමයෙක්.
සෑම් පොඩි කාලෙ ඉදලම සෑම්ගෙ තාත්තා, Nova Corps කියන විශ්ව සාමය සුරකින බලකායක සාමාජිකයෙක් විදිහට ගත කරපු තමන්ගෙ ජීවිතය ගැන කතාන්දර සෑම්ට සහ සෑම්ගෙ නංගිට කියනවා. පුංචි කාලෙදි ඒවා ආසාවෙන් අහන් හිටියත් ටික ටික ලොකු වෙද්දි මේවා වෙරිමතින් කියන ගොතපු විකාර කතාන්දර කියලයි සෑම් හිතන්නෙ. හැබැයි ඒ කතාන්දරවල තියෙන විදිහෙ කළු හෙල්මට් එකක් ගැරිජ් එකේ රාක්කෙක තියෙනවත් සෑම්ට දකින්න ලැබෙනවා. කොහොම උනත් සෑම් තමන්ගෙ තාත්තව දකින්නෙ පරාජිතයෙක් විදිහටයි. නමුත් සෑම්ගෙ නංගි, ඒවගේම සෑම්ගෙ අම්මා පවා මේ කතන්දර විශ්වාස කරලා තාත්තගෙ පැත්තට කතාකරන්නෙ ඇයි කියලා නම් සෑම්ට තේරුම් යන්නෙ නැහැ.
දවසක් තාත්තත් එක්ක මේ පිළිබඳව කතා කරන්න හිතාගෙන යන සෑම්ට තාත්තව දකින්න ලැබෙන්නෙ නැහැ, රාක්කෙ තිබුණු තාත්තගෙ කළු හෙල්මට් එකත් අතුරුදහන්. ඒවගේම තාත්තා නිදන් හිටපු තැන (👉ගැරිජ් එක - සෑම්ගෙ තාත්තා ගොඩක්ම බීපු දවසට එයා නිදා ගන්නෙ ගැරිජ් එකේ.) බිත්තියක් හිල්වෙලා තියෙන බවත් සෑම්ට දකින්න ලැබෙනවා. තාත්තව හොයන්න ගෙදරින් එළියට යන සෑම්ව අනතුරකට ලක් වෙනවා. ආයෙත් සෑම් නැගිටිනකොට එයා ඉන්නෙ ඉස්පිරිතාලෙක. ඔතනදි සෑම්ට රොකට් රැකූන්ව සහ ගමෝරාව දකින්න ලැබෙනවා. සෑම්ගෙ තාත්තා ලඟ තිබුණු කළු හෙල්මට් එකත් ඒ දෙන්නා අතේ තියෙනවත් සෑම්ට දකින්න ලැබෙනවා. ඒවගේම ඒ දෙන්නා ඇවිත් තියෙන්නෙ නැති උන සෑම්ගෙ තාත්තා නිසා බවත් සෑම්ට දැනගන්න ලැබෙනවා.
රොකට් කතා කරනවා දැකලා සෑම් කෑ ගහනවා "කතා කරන රැකූන් කෙනෙක්" කියලා. ඕකට තරහා ගියපු රොකට් සෑම්ගෙ පැත්තට වෙඩි තියනවා. සෑම්ට වෙඩි වදින්නෙ නම් නැහැ. සෑම් එතනින් පැනලා යනවා. ඔහොම පැනලා යනකොට සෑම්ව හෙදියකගෙ ඇගේ වදිනවා. ඒ හෙදිය සෑම්ව ආපහු සෑම්ගෙ කාමරයට එක්ක යනකොට රොකට් සහ ගමෝරා එතනින් ගිහින්. හැබැයි ඒ දෙන්නා සෑම්ගෙ තාත්තගෙ හෙල්මට් එක සෑම්ගෙ ඇද යටින් තියලයි යන්නෙ. රෑ හෙල්මට් එකෙන් සද්දෙකුයි එලියකුයි එනකොට සෑම්ට හෙල්මට් එක හම්බවෙනවා. මේ ඔක්කොම විහිලුවක් කියලා හිතපු සෑම් ඒකට පයින් ගහලා විසි කරලා දැම්මත් අර සද්දෙයි එලියයි නවතින්නෙ නැහැ. කොහොමහරි අන්තිමේදි සෑම් හෙල්මට් එක පැලදගන්නවා. ඒකෙ තිබිලා සෑම්ට, පටිගතකරපු තාත්තාගෙ හොලොග්රෑම් පණිවිඩයක් දකින්න ලැබෙනවා. මොකක් හරි ප්රශ්නයක් ඇති වෙලා කියලත් රොකට්ව සහ ගමෝරාව විශ්වාස කරන්න කියලත් තමන් සෑම්ට ආදරෙයි කියලත් පණිවිඩයෙ සදහන් වෙනවා.
සෑම් හෙල්මට් එක දාගෙන ඒක අත්හදා බලන්න ගන්නවා. ඔහොම කරනකොට සෑම් පියාඹගෙන ගිහිල්ලා අන්තිමට නවතින්නෙ හඳ මතට කඩන් වැටිලා. එතනදි Uatu (The watcher) පෘථිවිය පැත්තට එන චිටාරි හමුදාවක දර්ශනයක් සෑම්ට පෙන්වනවා. නමුත් වෙන මොනවත්ම එයා කියන්නෙ නැහැ. ආපහු පෘථිවියට එන සෑම්ට ගෙදර ළඟදි ආයෙමත් රොකට්ව සහ ගමෝරාව මුණ ගැහෙනවා. එතනදි, සෑම්ගෙ තාත්තා ඇත්තටම Nova Corps කියන විශ්ව සාමය සුරකින බලකායක නිලධාරියෙක් බවත්, සෑම්ට Supernovas හෙල්මට් එක දෙන්න කියලා ඒක රොකට්ට සහ ගමෝරාට බාරදීලා තියෙන්නෙ සෑම්ගෙ තාත්තා විසින්මයි කියලත් තව විස්තරත් සෑම්ට දැනගන්න ලැබෙනවා. ඊට පස්සෙ තමන්ට අළුත ලැබුණු බලයන්/හැකියාවන් හරියට හසුරුවන්නත්, පියාඹන්නත්, සටන් කරන්නත් රොකට් සහ ගමෝරා යටතේ සෑම් පුහුණුව ලබනවා.
ගමෝරාව සහ රොකට්ව තනිවම පරාද කරලා තමන්ගෙ පුහුණුව අවසන් කරන සෑම් අභ්යවකාශයට පිටත් වෙනවා අර චිටාරි හමුදාව ගැන තොරතුරු හොයලා දැනගන්න. බ්රහස්පති ග්රහලොකය ආසන්නයේදි තමයි සෑම්ට ඒ චිටාරි හමුදාව මුණ ගැහෙන්නෙ. මේ අවස්ථාවෙදි චිටාරි හමුදාව සෑම්ට දරුණුවටම පහර දෙන්න ගන්නවා. නමුත් එතනින් අයින් වෙලා යනවා වෙනුවට සෑම් කරන්නෙ චිටාරි යානා හරහා පියාඹලා ගිහින් ඒවා හිල් කර කර ඒ යානා එකින් එක විනාශ කරන්න පටන්ගන්න එක. ඔය වැඩේ කරකර ඉන්නකොට චිටාරි හමුදාවෙ ඉන්න කෙනෙක් සෑම්ව අල්ලලා නතර කරනවා.
සෑම්ව නතර කරනු ලබන පුද්ගලයා තමයි ටයිටස්(Titus). ටයිටස් කියන්නෙ හිටපු Nova Corps නිලධාරියෙක්, ඒවගේම හිටපු Supernovas සාමාජිකයෙක්. සෑම්ගෙ තාත්තා එක්කත් ටයිටස් වැඩ කරලා තියෙනවා. ටයිටස් සතුව "Ultimate Nullifier" කියන අතිශය බලගතු ආයුධය තියෙනවා. මේ Ultimate Nullifier එක පාවිච්චි කරලා තෝරාගත් ඉලක්කයක් සහමුලින්ම විනාශ කරලා දාන්න ඒක දරාසිටින්නාට පුළුවන්. දරා සිටින්නාට නිසියාකාර පාලනයක්, ඒකාග්රතාව, බලයක් නැත්නම් එයාවත් විනාශ වෙලා යනවා. ගැලැක්ටස් පවා මේ ආයුධයට බයයි කියලයි සඳහන් වෙන්නෙ.
ටයිටස් සඳහන් කරන විදිහට සෑම්ගෙ උපත දකින්න ජෙසී පෘථිවියට එන්නෙ චිටාරි හමුදාවක් එක්ක සටනක් අතරතුරදි. ජෙසී ඒ විදිහට සටන අත් ඇරලා කණ්ඩායම දාලා ගිය නිසා, චිටාරි හමුදාවෙ ප්රහරයට ලක් වෙලා කණ්ඩායම මියගිය බවත් තමන්ට තමන්ගෙ දකුණු අත සහ දකුණු ඇස අහිමි උන බවත් ටයිටස් කියනවා. කරන්න දෙයක් නැතිම තැන තමන්ගෙ ජීවිතය වෙනුවෙන් චිටාරීන් සමඟ එකතු වෙලා වැඩ කරන්න පොරොන්දුව පිට අවුරුදු කිහිපයක්ම සේවය කරන්න තමන්ට සිදු උන බවත්, ජෙසීගෙන් පළිගන්න, ජෙසීගෙ Supernova හෙල්මට් එක ලබා ගන්න චිටාරි හමුදාවක් සමඟ පැමිණි බවත් ටයිටස් සෑම්ට කියනවා. නමුත් තමන්ගෙ තාත්තා සිය කණ්ඩායම දාලා පැනලා ගියා කියන කතාව නම් සෑම් පිළිගන්නෙ නැහැ.
තියුණු ආලෝකයක් සමඟ ශක්තිය පිට කරලා ටයිටස්ගෙ ග්රහනයෙන් ගැලවිලා යන සෑම් ටික වෙලාවකට පස්සෙ ආයෙමත් එතනටම ඇවිත් Ultimate Nullifier එකත් ටයිටස්ගෙන් අරගෙන පෘථිවියට යනවා. සෑම් ගමෝරාව සහ රොකට්ව සම්බන්ධ කරගන්න උත්සාහ කළත් පුළුවන් වෙන්නෙ නැහැ. හෙල්මට් එකත් ගලවලා ගැරිජ් එකේ රාක්කෙන් තියලා Ultimate Nullifier එකත් හංගලා සෑම් බලාගෙන ඉන්නවා. ඔහොම ඉදිද්දි සෑම්ට නින්ද යනවා.
යානයක් ගොඩබාන ශබ්ධයක් ඇහිලා සෑම් ආපහු නැඟිටිද්දි ටයිටස් ඉන්නෙ සෑම්ගෙ ගෙදර ගැරිජ් එක ඇතුලෙ. සෑම්ගෙ හෙල්මට් එකත් ටයිටස් තමන් සතු කරගෙන Ultimate Nullifier එක ආපහු ලබා නොදුන්නොත් මුළු නගරයම විනාශ කරනවා කියලා සෑම්ට තර්ජනය කරනවා. නමුත් සෑම් තමන්ගෙ Skateboard එකෙන් පහර දීලා හෙල්මට් එක ආපහු ටයිටස්ගෙන් ලබාගෙන සටන් කරන්න පටන් ගන්නවා. ඒවගේම Ultimate Nullifier එකත් හංගලා තිබ්බ තැනින් එළියට අරන් එනවා. අවට මිනිස්සුන්ට හානි වීම වලක්වන්නත් ටයිටස්ට හුස්ම ගැනීම අපහසු කරලා ටයිටස්ව දුර්වල කරන්නත් හිතාගෙන සෑම් ටයිටස්ව පෘථිවියෙන් ඈත අභ්යවකාශයට අරගෙන යනවා තරුදොරටුවක් විවෘත කරලා. නමුත් ටයිටස් කියන්නෙ අභ්යවකාශයේදිත් හුස්ම ගැනීමේ හැකියාව තියන කෙනෙක්. ඒ විතරක් නෙවෙයි සෑම් ටයිටස්ව අරගෙන එන්නෙත් චිටාරි හමුදා යානා සමූහය අසලටමයි.
ඔය මොහොතෙදි සෑම් Ultimate Nullifier එක ටයිටස්ගෙ සහ චිටාරි හමුදාව පැත්තට එල්ල කරලා, "මම දින්නා, හමුදාවත් අරන් ආපහු යන්න, ආයෙත් එන්න එපා, ඒ බව තහවුරු කර ගන්න මම Ultimate Nullifier එක තියාගන්නවා" කියලා ටයිටස්ට කියනවා. නමුත් ඒ මොහොතෙදි ටයිටස් උත්සාහ කරන්නෙ සෑම්ගෙන් Ultimate Nullifier එක උදුරගන්න. මේ පොරබැදීම අතරතුරදි වැරදීමකින් ඒක ක්රියාත්මක වීම නිසා ටයිටස් ඇතුළු මුළු චිටාරි හමුදාවම මරණයට පත් වෙනවා. මෙතනදි වෙන්නෙ කුහරයක් වගේ එකක් විවෘත වෙලා සියළු දෙනාවම ඒ තුලට ඇඳලා ගන්න එක. සෑම් ටයිටස්ව බේරාගන්න උත්සාහ කලත් පුළුවන් වෙන්නෙ නැහැ.
📌️[Ultimate Spider-man කාටූන් එකේ තුන්වෙනි කතාසමයෙ පළවෙනි කථාංගයෙ ("Return of the Guardians of the Galaxy") මේ Titus එක්ක යන සටන තියෙනවා. ඒකෙදි නම් කතාව මීට වඩා වෙනස්.]
ඔය දේවල් ඔක්කොම උනාට පස්සෙයි රොකට් සහ ගමෝරා ඔතනට එන්නෙ. ඒ දෙන්නගෙන්, "ඔයාලා හිටියෙ කොහෙද? දැක්කද මම දැන් කරපු දේ" කියලා සෑම් අහද්දි "දේවල් පේන්න තියෙන විදිහට නම් ඔයා විශ්වය බේරගත්තා, නෝවා" කියලයි රොකට් උත්තර දෙන්නෙ. ගමෝරා Ultimate Nullifier එක ගැන සෑම්ගෙන් අහද්දි "පළවෙනි නීතිය, කිසිකෙනෙක් විශ්වාස නොකරන්න" කියාගෙන සෑම් එතනින් යන්න යනවා. එහෙම්මම හඳට ගිහිල්ලා Uatuට Ultimate Nullifier එක භාර දීලා නැවත පෘථිවියට එනවා.
ගෙදරට ආවට පස්සෙ සෑම්ගෙ අම්මා සෑම්ට තොරතුරු වගයක් හෙළි කරනවා. සෑම්ගෙ තාත්තත් සෑම් ඉපදෙන්න කළින් විටින් විට සෑම් කරපු විදිහටම හෙල්මට් එක පැලඳගෙන පෘථිවියෙන් පිටවෙලා ගියා කියලත් සෑම් ඉපදුනාට පස්සෙ සෑම්ගෙ තාත්තා හෙල්මට් එක පැත්තකින් තියලා හොඳ තාත්තා කෙනෙක් වීමට ගොඩාක් උත්සාහ කරපු බවත් සෑම්ට දැනගන්න ලැබෙනවා.
අම්මගෙන්ම ඔය තොරතුරු දැනගන්න ලැබුණට පස්සෙ සෑම් අහස දිහා බලලා තාත්තා කොහේ හරි ඉන්නවා ඇති, මම කොහොමහරි තාත්තව හොයා ගන්නවා කියලා තමන්ටම පොරොන්දුවක් ලබා දෙනවා. මේ මොහොතෙදි සෑම්ගෙ තාත්තා ජෙසීත් චිටාරි හිරගෙදරක ඉඳන් අහස දිහා බලාගෙනයි ඉන්නෙ. ජෙසීට දකින්න ලැබෙනවා Ultimate Nullifier එක ක්රියාත්මක වීම නිසා ඇති උන ආලෝකය. එයත් අහස දිහා බලාගෙන කියන්නෙ... "සෑම්".
ඔන්න ඔය විදිහටයි සෑම් ඇලෙක්සැන්ඩර් නෝවා විදිහට වැඩ පටන් ගන්නෙ.
(පිංතූර සහිතව) සෑම්ගෙ ඔරිජින් එක ඇතුළත් වීඩියෝවක් මේ ලින්ක් එකෙන් ගියොත් නරඹන්න පුළුවන්.
https://m.youtube.com/watch?v=nbXHXYCE4HA
(ඔරිජින් එක මෙච්චර දිගට ලියන්න හේතුවත් මේ වීඩියෝ එක.)
බලයන්, හැකියාවන් සහ දුර්වලතා.
⬆️Nova Force මාතෘකාව යටතේ පසුගිය ලිපියෙන් කතා කරපු සියළු බලයන්/හැකියාවන් මෙතනට අදාලයි. ඒවගේම Nova Corps නිලඇඳුම් යටතෙ සඳහන් කරපු කාරණාත් මෙතනට අදාලයි.
⬆️හෙල්මට් එක මඟින් සෘජුවම සෑම්ගෙ හිසට තොරතුරු කවනවා. ඒවගේම සෑම්ගෙ ප්රතික්රියා වේගවත් කරනවා.
⬆️සෑම්ගෙ හෙල්මට් එකේ මුහුණු හඳුනාගැනීමේ පහසුකමත් හොලොග්රෑම් පටිගත කිරීමේ / ධාවනය(Play) කිරීමේ පහසුකමත් තියෙනවා. (වතාවක් සෑම් තමන්ගෙම රුව හොලොග්රෑම් එකක් විදිහට පෙන්නලා සතුරෙක්ව රවට්ටලත් තියෙනවා.)
⬆️යම් දෙයක් තුළ හෝ යම් ජිවියෙක් තුළ තියෙන ආගන්තුක දේහ (විශ වර්ග වගේ දේවල්) හඳුනා ගන්නත් සෑම්ට පුළුවන්.
⬆️මනසින් දේවල් සෙලවීමේ හැකියාවත් සෑම්ට තියෙනවා. (මේ හැකියාව පෙන්වලා තියෙන එකම නෝවා සෑම් කියලයි සදහන් වෙන්නෙ).
⬆️සෑම්ටත් පුළුවන් Nova Force එකේ ශක්තිය, තරංගයක් හෝ බෝලයක් බවට එක්තැන් කරලා තමන්ගෙ අත්වලින් පිටකරන්න. සෑම් Nova Force එක (උණ්ඩ ආකාරයෙන්, ලේසර් ආකාරයෙන් වගේ) විවිධ ආකාරයෙන් යොදාගෙන අත් හදාබැලීම් සිදු කරනවා.
⬆️ඒවගේම සෑම්ට අභ්යවකාශ පැනුම් (space jump - අභ්යවකාශයෙ යම්කිසි ස්ථානයකට teleport වීම) සිදු කරන්නත් හැකියාව තියෙනවා. (මේ කියන්නෙත් තාරකාදොරටු ගැනම තමයි.)
⬆️දැනට සෑම්ට ටොන් 30ක පමණ බරක් ඔසවන්න පුළුවන්.
⬇️සෑම්ගෙ මේ බලයන් රදාපවතින්නෙ හෙල්මට් එක මතයි. හෙල්මට් එක නොමැතිව සෑම්ට බලයන් නැහැ.
⬇️සෑම් තාම පොඩි ළමයෙක්. ඒ නිසා සමහර අවස්ථාවලදි දුර දිග හිතන්නෙ නැතුවයි සෑම් වැඩ කරන්නෙ. ඒවගේම තමන්ගෙ බලයන් නිසා ගොඩක් ආඩම්බරයෙන් අහංකාරයෙන් ඉන්න කෙනෙක් තමයි සෑම්.
⬇️තමන්ගෙ රහසිගත අනන්යතාවය ආරක්ෂා කර ගන්න වැඩේට නම් සෑම් එච්චරම දක්ශ නැහැ.
⬆️සෑම්ගෙ අම්මා නිතර ස්පාඤ්ඤ භාෂාව පාවිච්චි කරන නිසා සෑම්ටත් යම්තාක් දුරකට ස්පාඤ්ඤ භාෂාව කතාකරන්න පුලුවන්. ඒවගේම සෑම් තනියම මෝස් කෝඩ් ඉගෙනීමටත් පටන්ගෙන තියෙනවා.
👊👊👊
👊ආලෝකයේ වේගයටත් වඩා වැඩි වේගයකින් පියාසර කරමින් සිටියදි පොළවට කඩන් වැටිලත් සෑම් දිවිගලවාගෙන තියෙනවා. (Avengers Vs X-men event එකේදි.)
👊තෝර්ටත් ඇප නැති වෙන්න පහර දීපු බෙටා රේ බිල් එක්කත් සෑම් සටන් කරලා තියෙනවා. මේ සටනෙදි බෙටා රේ බිල් සෑම්ට අකුණු ප්රහාරයක් පවා එල්ල කලත් ඒකෙන් සෑම්ට හානියක් වෙන්නෙ නැහැ. (වැරදි වැටහීමක් නිසයි මේ සටන ඇති වෙන්නෙ.)
👊Kluh Vs Sam
👉"Axis" කතාමාලාවෙදි ප්රොෆෙසර් එක්සේවියර්ගෙ බලය තමන් සතු කරගෙන ඉන්න රෙඩ් ස්කල්ව නැවැත්වීම සඳහා ස්කාර්ලට් ව්ච් විසින් යොදන මන්ත්රයක් නිසා ඇතැම් පුද්ගලයන්ගෙ පෞරුෂත්වය අපවර්තනය වෙනවා. වීරයො දුෂ්ඨයො බවට පත් වෙනවා. දුෂ්ඨයො වීරයො බවට පත්වෙනවා.
[ටෝනි ස්ටාර්ක් ප්රතිවිපාක ගැන නොතකා තමන්ට කැමති කැමති දේ කරන්න ගන්නවා. කානේජ් මිනිස්සුන්ව අපරාධකරුවන්ගෙන් බේරගෙන "from your friendly neighborhood Carnage" කියලා සටහන් තියලා යන්න පටන් ගන්නවා. X-men කණ්ඩායම මිනිස්සුන්ව(Homo sapiens) යටපත් කරගන්න තීරණය කරනවා. කැප්ටන් ඇමෙරිකා(සෑම් විල්සන්) තමන්ගෙම කණ්ඩායමේ අයව හිර කරනවා වගේ දේවල් සිද්දවෙනවා.]
👉බෲස් බැනර්ටත් මේ බලපෑම ඇවිත් *ක්ලූ(Kluh) කියන අළුත් හල්ක් ස්වරූපයක් ඇති වෙනවා.
[*හල්ක්ගෙ හල්ක් කියලත් Kluhව හඳුන්වනවා. ඒකට හේතුව බෲස්ට තරහා ගියාම හල්ක් බවට පත් වෙනවා වගේ, හල්ක්ට තව තවත් තරහා ගියාම (දුකට පත් උනාම) යි Kluh බවට පත් වෙන්නෙ.]
👉ඇරිසෝනා ප්රාන්තයෙ කලබල කරන Kluhව නවත්වන්න සෑම් යනවා. එතනදි Kluh විසින් විසි කරන මිනිස්සු තුන්දෙනෙක් සහිත ගිලන් රථයක් සෑම් තමන්ගෙ අත් දෙකෙන් අල්ලලා ගුවනෙදිම නතර කරනවා.
👉Kluhගෙ හිස අංශක 90ටත් වඩා පැත්තට හැරෙන්නත් Kluhව බිම වැටෙන්නත් සෑම් මෙතනදි පහර දෙනවා.
👉සටන අතරතුරදි Kluh සෑම්ගෙ අත හපලා කඩලා දැම්මත් සෑම් නොනවත්වාම සටන් කරනවා (Will power).
👉සටනෙදි Kluh සෑම්ට එල්ල කරන පහරකින් සෑම්ව ඇරිසෝනා ප්රාන්තයෙන් විසි වෙලා ගිහිල්ලා නතරවෙන්නෙ ප්රංශයෙ පැරිස් නුවර තියෙන අයිෆල් කුළුනෙ වැඳිලා. ඔළුවයි මුලින්ම වදින්නෙ. (සිතියමක් අරන් පොඩ්ඩක් තැන් දෙක අතර දුර බලන්න😁) ඒ පහර නිසා සෑම්ව තාවකාලික කෝමා තත්වයකට පත් උනත් සිහිය ඇවිත් සුළු මොහොතකට පස්සෙ ආයෙමත් සෑම් Kluh ඉන්න තැනට ගිහිල්ලා Kluhව අභ්යවකාශය තුළට ගිහිල්ලා දානවා.
(අයිෆල් කුළුනෙ වැඳිලා සෑම්ගෙ හෙල්මට් එකට ගොඩක් හානි වෙනවා. Dr.Green කියන හල්ක් ස්වරූපය තමයි සෑම්ට හෙල්මට් එක පිළිසකර කර ගන්න උදව් වෙන්නෙ.)
👊මාවල් විශ්වයෙ ඉන්න ඉතාමත්ම දරුණු කෙනෙක් විදිහට සලකන කානේජ්වත් සෑම් පරාජය කරලා තියෙනවා.
👊වතාවක්, ජෙසීව හිර කරලා තිබුණු චිටාරි ලෝකයටත් සෑම් තනිවම පහර දෙනවා.
👊පෘථිවිය විනාශ කරන්න එන Warbringer කියන චිටාරි හමුදා නායකයට (Warbringer පෘථිවිය විනාශ කරන්න එන්නෙත් සෑම් කරන වැඩක් නිසාමයි👎) යටත් වෙන්න කියලා බල කරමින් සෑම් එයාව අරගෙන තාරකාවක් හරහා පියාඹලා යනවා. (නමුත් Warbringerව විනාශ කරන අදහසින් නෙවෙයි සෑම් ඉන්නෙ). තාරකාව හරහා ගිහින් එහා පැත්තෙන් මතු වෙනකොටත් සෑම්ට කිසිම හානියක් සිදු වෙන්නෙ නැහැ. නමුත් Warbringerගෙන් ඉතුරු වෙන්නෙ කර උනු අතක් විතරයි. ඔය සිදුවීමට පස්සෙ Warbringerගෙ හමුදාව යටත් වෙනවා. (නමුත් ඇත්තටම Warbringer මිය යන්නෙ නැහැ.)
👊උල්කා සියගානක් යානාවලින් අරගෙන ඇවිත්, ඒවයෙන් තමයි Warbringer මුළින්ම පෘථිවියට පහර දෙන්නෙ. සෑම් ඒ උල්කා හැකි පමණ එකින් එක අහසෙදිම කුඩා කැබැලිවලට කඩලා දානවා. (පස්සෙ ඒ වැඩේට බෙටා රේ බිල්, රොකට් රැකූන්, කැප්ටන් මාවල් සහ අයන් මෑන්ගෙ උදව් සෑම්ට ලැබෙනවා.)
විශේෂ කරුණු
😮සම-නිර්මාපක Jeph Loeb, සෑම්ව නම් කරලා තියෙන්නෙ අස්ථි පිළිකාවක් හේතුවෙන් 2005 අවුරුද්දෙදි මියගිය තමන්ගෙ 17 හැවිරිදි පුතු (Sam Loeb) ගෙ නමින්.
😮සෑම් හෙල්මට් එක පැලඳ ගත්තම නිල ඇඳුමත් ඉබේටම මතු වෙනවා. හෙල්මට් එක ගලවනවත් එක්කම නිල ඇඳුමත් නැති වෙලා යනවා.
😮සෑම්ගෙ නංගිත් කිහිප වතාවක්ම Supernova හෙල්මට් එක පැලදගන්නවා. එයාටත් සෑම්ට වගේම බලයන් ලැබෙනවා.
😮හිතට වදදෙන ගැටළුවක් ඇති උන වෙලාවට ඒවා කියන්න Uatu ළඟටයි සෑම් යන්නෙ. ("Original Sin" කතාමාලාවෙදි පුද්ගලයෙක්, Uatuව ඝාතනය කරනවා.)
😮ටයිටස් එක්ක සටනින් විනාශ උන කෙයාෆ්රී ප්රදේශයෙ පිට්ටනිය පිළිසකර කරන වැඩවලටත් සෑම් නෝවා විදිහට ගිහින් උදව් වෙනවා. (අම්මගෙ කීමට තමයි මෙහෙම කරන්නෙ.)
😮වතාවක් Avengers කණ්ඩායමට එකතු වෙන්න කියලා තෝර් විසින්ම සෑම්ට ආරාධනාවක් කරනවා. (Avengers vs. X-Men event එකේදි මුළු Phoenix Force එකම දරාගෙන පාලනයක් නැතිව ක්රියා කරන Cyclopsව එරෙහිව සටනෙදි Avengersලට උදව්වීම හේතුවෙන්.) නමුත් සෑම්ගෙ අම්මා ඒකට අවසර දෙන්නෙ නැහැ.
😮ගෙදර මුදල් ප්රශ්න නිසා වතාවක් සෑම් අභ්යවකාශයෙන් විශාල රත්තරං කුට්ටියක් ගෙදරට අරගෙන එනවා. නමුත් ඒක විකිරණශීලි බව දැනගත්තට පස්සෙ ආයෙමත් ඒක අභ්යවකාශයට අරන් ගිහින් තාරකාවක් තුළට විසි කරලා දානවා.
😮සෑම් හැසිරෙන විදිහ, වැඩ කරන විදිහ Ben 10 කාටුන් එකේ බෙන් ටෙනිසන්ගෙ පුංචි කාලෙට ටිකක් සමානයි. (බෙන්ගෙ "Hero time" හැසිරීම සෑම්ටත් තියෙනවා.) (👈මට හිතුන දෙයක් ඈ😁.)
😮හෙල්මට් එක පැලඳගත්තට පස්සෙ සෑම් ඇලෙක්සැන්ඩර් කියන්නෙ ගොඩක් බලවත් කෙනෙක්.
[තෝර්ගෙ සහ කැප්ටන් මාවල්ගෙ මට්ටමටම වගේ බලවත් කිව්වත් ඒකෙ වරදක් නැහැ.]
😁හෙල්මට් එක නැතුව ගත්තත් සෑම් ටිකක් bad-ass චරිතයක්.
(පෘථිවියෙදි ටයිටස් අතේ තිබුණු තමන්ගෙ හෙල්මට් එක සෑම් අරගන්නෙ තමන්ගෙ Skateboard එකෙන් පහර දීලා. බෙටා රේ බිල් එක්ක සටන සෑම් පටන් ගන්නෙ හෙල්මට් එකෙන් බෙටා රේ බිල්ගෙ මුහුණටම පහර දීලා.)
😮සෑම් ඇලෙක්සැන්ඩර්ගෙ කතාවෙත් පීටර් පාකර්ගෙ කතාවෙත් යම් යම් සමානකම් තියෙනවා. (ගෙදර ප්රශ්න, මුදල් ප්රශ්න, යාළුවන්ගෙ ප්රශ්න, ඉස්කෝලෙ ප්රශ්න, ගෑණු ළමයගෙ ප්රශ්න😁,... Etc.)
🚫අභ්යවකාශ යානයක් ඇතුලෙ ඉඳගෙන, සෑම්ට සද්ද දාන එක නම් එච්චර නුවණක්කාර වැඩක් නෙවෙයි. (👉The Human Rocket)
😮සෑම් ඇලෙක්සන්ඩර් (සහ ඒවා අයාලා aka වයිට් ටයිගර්) චරිත නිර්මාණය කරලා තියෙන්නෙ Ultimate Spider-man කාටූන් එක වෙනුවෙන් කියලත් සඳහන් වෙනවා.
📌️[Ultimate Spider-man කාටුන් එකේදි නම් සෑම්ගෙ හෙල්මට් එක රත්රන් පාට එකක්. නමුත් කොමික්වලදි නම් සෑම්ගෙ හෙල්මට් එක කළු පාටයි. රත්රන් පාට හෙල්මට් එකක් තියෙන්නෙ රිචඩ් රයිඩර්ට.]
📌️Guardians of the Galaxy කාටූන් කතාමාලාවෙදිත් සෑම්ව දැකගන්න පුළුවන්.
අමතර
සෑම් ඇලෙක්සැන්ඩර්ගෙ නෝවා ඔරිජින් එක සිදුවෙන කාලයෙදි රිචඩ් රයිඩර් (Original නෝවා) මිය ගිහින් (කියලයි කට්ටිය විශ්වාස කරන්නෙ). Nova Corps එකත් ඒ කාලෙදි නැහැ. තාත්තා කියපු කතාන්දර ඇරුනම Nova Corps ගැන හෝ Supernovas ගැන හෝ Worldmind එක ගැන හෝ හරිහැටි තොරතුරක් සෑම් දන්නෙ නැහැ. සෑම් ඒ තොරතුරු, ටිකෙන් ටික හොයාගන්නෙ පස්සෙ කාලෙකදි. පාඨකයටත් Supernovas ආරම්භය ගැන, ඒකට සිදු වූ දේ ගැන නිශ්චිත තොරතුරක් දැනගන්න ලැබෙන්නෙ පස්සෙ කාලෙකදි ටිකෙන් ටික. [සෑම් ඇලෙක්සැන්ඩර්ගෙ මුල්ම පෙනී සිටීම සිදුවෙන්නෙ 2012දි, Supernovas මුල්ම පෙනීසිටීම සිදුවෙන්නෙ 2013දි.] කොමික් පොත්වලදි සෑම්ගෙ කතාව ඔරිජින් එකෙන් පටන් අරගෙන පස්සෙ කාලෙකදි තමයි ටිකෙන් ටික අතීත පසුබිම් විස්තර ලබා දෙන්නෙ.
මතු සම්බන්ධයි...
මීළඟ ලිපියෙන්... --> රිචඩ් රයිඩර්.
Source -
👉Wikipedia
👉Marvel Database - Fandom
👉Comic Vine
👉Nova Prime Page
👉Comicstorian (Youtube channel)
[✍️ - ජනිත පසන්✔️]

Comments

Popular posts from this blog

MARVEL COMICS READING ORDER UPDATED UPTO DECEMBER 2019

How to Read Comics

Marvel Movie History + Character live action Rights & All Movie List